UGC

අ. පො. ස. උ/පෙළ විෂය සංයෝජන තෝරා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය (2009/16)  පිළි පැදිය යුත් බව සිසුන් මෙන් ම පාසල්වල විදුහල්පතිවරුන් සහ අංශ ප්‍රධානීන් දැනුවත් ව ඇතැයි සිතමි.

මේ වන විට ක්‍රියාත්මක වන කලා, වාණිජ්‍ය, ජෛව විද්‍යා, භෞතීය විද්‍යා හා තාක්‍ෂණ යන ඕනෑම විෂය ධාරා (Arts, Commerce, Biological Science, Physical Science & Technical Streams) පහ සමඟ හැදෑරීමට බලාපොරොත්තු වන විෂයන් ගැන මනාව අවබෝධ කර ගැනීම නුවණට හුරු ය. විශ්වවිද්‍යාල පාඨමාලා අනුව එම චක්‍ර ලේඛය සකස් කර ඇති බව මතක තබා ගත යුතු ය.

නව තාක්‍ෂණ විෂය ධාරාව (Technological Streams) සමඟ හැදෑරිය හැකි විෂය සංයෝජන ගැන නිකුත් කර ඇති තාක්‍ෂණ විෂය සංයෝජන චක්‍රලේඛය අනුව ICT විෂය වැඩි පිරිසක් තෝරා ගැනීම දක්නට ලැබේ.

මෙහි දී එම ඕනෑම විෂය ධාරාවක් තුළ උසස් පෙළ ICT විෂය සමඟ තෝරා ගත යුතු අනෙක් විෂයන් දෙක විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් පසු හැදෑරිය හැකි පාඨමාලාවන්ට අනුව තීරණය කළ යුතු ම ය. එසේ නොවුනහොත් ඔබ උසස් පෙළ ඉහළ ප්‍රතිඵල සමඟ සමත් වුවත් නියම විෂය සංයෝජනයක් තෝරා ගෙන නොමැති නිසා විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීම ද සිදු කළ නො හැකි වනු ඇත. එවැනි අවස්ථා ද මෑතක දී වාර්තා වී ඇත.

2015 වර්ෂයේ සිට ඉදිරි වර්ෂවලට බල පැවැත්වෙන ලෙස ක්‍රියාත්මක වන උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය (Information and Communication Technology/ICT) නව විෂය සංශෝධන සහිත විෂය නිර්දේශය කලා, වාණිජ්‍ය, ජෛව විද්‍යා, භෞතීය විද්‍යා හා තාක්‍ෂණ යන ඕනෑම විෂය ධාරාවක් සමඟ හැදෑරීමට හැකි වේ.

ICT විෂය තෝරා ගන්නා ඔබට විශ්වවිද්‍යාලය තුළ හැදෑරිය හැකි පාඨමාලාවන් බොහොමයක් පවතින බව ඔබ දන්නෙහි ද? මේ සඳහා පිළිතුර “නැත” නම් මෙන්න ඒ සඳහා අපේ සහය. විශ්වවිද්‍යාල ප්‍රවේශය 2013/14 (University Admission 2013/14) eBook Download කර ගන්න .

මෙය නිකුත් කරන ලද්දේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් (UGC) බව අමතක නො කරන්න. එම උපුටනය පරිශීලනය කිරීම පහසු වන ලෙස සකස් කර මෙම වෙබ් අඩවියට එක් කළ බව සතුටින් දන්වමි. ඔබගේ ගැටලු, යෝජනා සහ අදහස් අප අගය කරමි. කරුණාකර දන්වන්න Contact.