indika-SK2015

2015 වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අධ්‍යයන වැඩසටහන සඳහා සහභාගි වන කණ්ඩායමට ගුවන් ටිකට් පත් පිරිනැමේ. 2014 වර්ෂයේ නිර්මාණාත්මක ගුරු මෘදුකාංග තරගාවලියේ සමස්තලංකා ප්‍රථම ස්ථානය ලද මා ද එම අධ්‍යයන වැඩසටහන සඳහා සහභාගි වේ.

Indika_Jayasinghe-Winner-2014

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු කොරියවේ ග්වැන්ග්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතර පවතින අවබෝධතා ගිවිසුම අනුව සෑම වසරක ම ගුරුභවතුන් සහ නිලධාරීන් කණ්ඩායමක් දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම වැඩසටහනක් සඳහා සහභාගි වේ. ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය දක්වනු ලබන ගුරුභවතුන් දෙදෙනකු බැගින් එක් පළාතක් නියෝජනය කරමින් තෝරා ගන්නා අතර, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශූරයෝ තරගාවලියෙහි නිර්මාණාත්මක ගුරු අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් ගුරුභවතා ඇතුළු ගුරු භවතුන් 19 දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සහභාගි වේ.

2015 වර්ෂයේ එම අධ්‍යයන වැඩසටහන දකුණු කොරියාවේ ග්වැන්ග්ජුහි දී 2015-08-24 දින සිට 2015-09-07 දින දක්වා පැවැත්වේ. එම අධ්‍යයන වැඩසටහන සඳහා සහභාගි වන ගුරුභවතුන් සහ නිලධාරීන් සඳහා ගුවන් ටිකට් පත් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2015-08-14 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වීණි. එම අවස්ථාව සඳහා අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයේ අතිරේක ලේකම් එච්. යු. ප්‍රේමතිලක මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එම්. නීල් ගුණදාස මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ නිලධාරීහු සහභාගි වූහ.
මෙම වැඩසටහන යටතේ 2006 සිට මේ දක්වා ගුරුභවතුන් 200කට ආසන්න සංඛ්‍යාවකට මෙම අවස්ථාව හිමි වී ඇත.